ලෝක දෘෂ්ටි දිනය

 

සිත් ඇදගන්නාසුළු වර්ණ, විශ්මයදනවන දසුන් සපිරුණු චමත්කාරජනක ලොවක් තුළ ආලෝකයක් නොමැති අන්ධකාරයක ගිලුණු ජීවිතයක් ගැන සිතීමටවත් හැකිද?

පෙනීම යනු අපට ඇති වටිනාම සංවේදනයයි. නමුත් පෙනීමේ වාසනාව අහිමිව හුදෙක් කටහඬ පමණක් ඇසෙන, රූප නොපෙනෙන ජීවිත ගත කරන මිලියන ගණනක් මෙලොව වාසය කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව එවන් වූ දෘශ්‍යාබාධිත තත්ත්වයකින් හෝ යම් ආකාරයක පෙනීමේ දුර්වලතාවයකින් පෙළෙන සංඛ්‍යාව ලොව පුරා බිලියන 2.2 කට ආසන්න වේ. මෙයින් බොහෝමයක් වළක්වා ගත හැකි හෝ ප්‍රතිකාර කළ හැකි තත්ත්ව වේ.

අද ලෝක දෘෂ්ටි දිනය යි. සෑම වසරකම ඔක්තෝබර් මස දෙවන බ්‍රහස්පතින්දා දිනය මේ පිළිබඳ සිහිකැඳවීමේ හා ගෝලීය දෘෂ්ටි අභියෝගවලට විසඳුම් සෙවීමේ ක්‍රියාදාමයක් ලෙස වෙන් කරනු ලබයි. ඒ අනුව මේ වසරේ දී ඔක්තෝබර් 12 වන බ්‍රහස්පතින්දා දිනට ලෝක දෘෂ්ටි දිනය යෙදී ඇත. දෘශ්‍යාබාධිත බව, පෙනීමේ දුර්වලතා සහ පෙනීම ආරක්ෂා කරගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ අන්ධභාවය වැළැක්වීම සඳහා වූ ජාත්‍යන්තර ඒජන්සිය (IAPB) විසින් ලෝක දෘෂ්ටි දිනය ආරම්භ කර ඇති අතර මෙම වසරේ එහි තේමාව වන්නේ “රැකියාවේ දී ඔබේ ඇස්වලට ආදරය කරන්න” යන්නයි.ඒ අනුව මෙවර ලෝක දෘෂ්ටි දිනයේ දී ප්‍රධාන අවධානය යොමු වන්නේ ලොව පුරා රැකියාවල නිරතවන මිලියන සංඛ්‍යාවක් වූ සේවකයින්ගේ යහපැවැත්ම, ආරක්ෂාව සහ ඵලදායිතාවය උදෙසා අක්ෂි සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධනය කිරීම සහ සේවා ස්ථානවල අක්ෂි සෞඛ්‍ය රැකීමේ මුලපිරීම් සම්මත කිරීමට සේවා යෝජකයන් දැනුවත් කිරීම යි. තාක්ෂණික දියුණුව ඔස්සේ ඉදිරියට යන ඩිජිටල් ලෝකයේ බොහෝ රැකියා පරිගණක සමඟ මුසුවී තිබීම අක්ෂි සෞඛ්‍යට අහිතකර ලෙස බලපාන ප්‍රධාන ගැටලුවකි. මේ හේතුව ගෝලිය වශයෙන් දැඩිව අවධාරණය කිරීම මෙවර තේමාවේ ඉලක්කය යි.මෙහි පළමු පියවර වන්නේ තමන් තමන්ගේම අක්ෂි සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දීමයි. නිතිපතා අක්ෂි පරීක්ෂා කිරීම, ආරක්ෂිත ඇස් කණ්ණාඩි පැළඳීම සහ පරිග්ණක හෝ ස්මාර්ට් දුරකථන තිරයෙන් විවේක ගැනීම අපගේ පෙනීම ආරක්ෂා කර ගැනීමට විශාල වෙනසක් ඇති කළ හැකි කුඩා පියවර වේ. ඉන් පසු පියවර ලෙස තම සේවකයන් වෙනුවෙන් ගුණාත්මක අක්ෂි ප්‍රතිකාර ලබා දීමට ලෝකයේ සේවා යෝජකයන් පෙළඹවීම දැක්විය හැක. කර්මාන්තශාලා මහල් සහ කාර්යාල ගොඩනැගිලිවල සිට කාර්ය මණ්ඩල කාමර දක්වා අක්ෂි සත්කාර සැමට ලබා ගත හැකි, ප්‍රවේශ විය හැකි සහ දැරිය හැකි බව සහතික කිරීමද මෙවර අරමුණු වී ඇත.ලෝක දෘෂ්ටි දිනය, පෙනීම යනු අප ආරක්ෂා කළ යුතු සහ අගය කළ යුතු වටිනා තෑග්ගක් බව අපට මතක් කර දෙයි. ගෝලීය දැනුවත්භාවය, අධ්‍යාපනය, තාක්ෂණයේ දියුණුව සහ වෛද්‍ය පර්යේෂණ හරහා බොහෝ දෙනෙකුට දීප්තිමත් ලෝකයකට ප්‍රවේශ වීමේ දොරටු විවර කර දෙයි. එබැවින්, මෙම ලෝක දෘෂ්ටි දිනයේ දී මෙන්ම අන් සෑම දිනකම දෘශ්‍ය අභියෝගවලට මුහුණ දෙන අයට දයාවේ සහ සහයෝගයේ දෑත් දිගු කර අපගේ යුතුකම ඉටු කරමු.

Written By: –

 

 

 

 

Rtr. Sethmi Navoda
(Blog Team Member 2023-24)

Spread the love
guest
0 Comments
Inline Feedbacks
View all comments